"ෆෝන් එකෙන් ඔළුව උස්සන්නේ නැති දරුවෝ බේරගන්න ඕස්ට්‍රේලියාව ගත්තු ලෝකෙම හොල්ලන තීරණය! - වයස 16ට අඩු අයට Social Media තහනම් කළේ ඇයි?" 📱🚫
මේ දවස්වල ඕස්ට්‍රේලියාවේ ලොකුම මාතෘකාව වෙලා තියෙන්නේ මේකයි. ලංකාවේ අපේ අම්මලා තාත්තලා නිතරම කියන කතාවක් තියෙනවා "අපේ ළමයා ෆෝන් එකේමයි, කන්නෙත් ෆෝන් එක බල බලා, කාමරෙන් එළියට එන්නේ නෑ" කියලා. මේක ලංකාවට විතරක් නෙවෙයි, මුළු ලෝකයටම තියෙන ලොකුම වසංගතයක් වෙලා ඉවරයි. හැබැයි මේ වසංගතයට බෙහෙතක් දෙන්න ලෝකේ පළවෙනි වතාවට රටක් බය නැතුව ඉස්සරහට ඇවිත් තියෙනවා.
ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් පහුගියදා ප්‍රකාශ කළේ, වයස අවුරුදු 16ට අඩු දරුවන්ට ෆේස්බුක්, ටික්ටොක්, ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය භාවිතා කිරීම නීතියෙන්ම තහනම් කරනවා කියලයි. මේ තීරණය එක රැයකින් ගත්ත එකක් නෙවෙයි. පර්යේෂණවලින් හොයාගෙන තියෙන විදියට අද ඉන්න ගැහැණු ළමයින්ගෙන් බහුතරයක් තමන්ගේ ශරීරය ගැන දුක් වෙන්නේ ඉන්ස්ටග්‍රෑම් එකේ ඉන්න ෆිල්ටර් දාපු බොරු රූප දැකලා. පිරිමි ළමයි අන්තර්ජාලයේ තියෙන විකෘති මතවාද දැකලා සමාජයට වෛර කරන්න පුරුදු වෙනවා. මේ ඇල්ගොරිතම හදලා තියෙන්නේ ළමයින්ව එම තිරයට ඇල කර තබාගෙන මානසික ලෙඩුන් කරන්නයි.
ඉස්සර ළමයි හවසට ක්‍රිකට් ගැහුවා, සෙල්ලම් කළා, යාලුවෝ එක්ක හිනා වුණා. අද ළමයි ඉස්කෝලේ ඇරිලා ආපු ගමන් කාමරේට රිංගලා දොර වහගන්නවා. ඕස්ට්‍රේලියානු රජය කියන්නේ "අපිට ඕන ළමයි ෆෝන් එකෙන් අයින් වෙලා ආපහු පිට්ටනියට යනවා දකින්න, ඔවුන්ට අහිමි වුණු ළමා කාලය නැවත ඔවුන්ට ලබා දෙන්න" කියලයි.
මෙතැනදී ගත්තු වැදගත්ම තීරණය තමයි වගකීම මාරු කිරීම. මෙච්චර කල් ලෝකයා කිව්වේ "දෙමාපියෝ ළමයින්ව බලාගන්න ඕන" කියලනේ. හැබැයි මේ නීතියෙන් කියන්නේ අහිංසක දෙමාපියන්ට බෑ ලෝකේ ලොකුම Tech Company එක්ක තනියම හැප්පෙන්න. ඒ නිසා වයස පරීක්ෂා කිරීමේ වගකීම කෙලින්ම ෆේස්බුක්, ටික්ටොක් වගේ සමාගම්වලට පවරනවා. වැරදිලා හරි අවුරුදු 16ට අඩු ළමයෙක් ලොග් වුණොත්, දඩය ගහන්නේ දෙමාපියන්ට නෙවෙයි, මාක් සකර්බර්ග්ලාට. ඒ දඩය ඩොලර් මිලියන ගණනක්. ඒ නිසා දැන් ඒ සමාගම්වලට සිද්ධ වෙනවා තමන්ගේ "ඇබ්බැහි කරවන" ඇල්ගොරිතම වෙනස් කරගන්න.
මේ නීතිය හරියට ක්‍රියාත්මක වුණොත් ලෝකේ ලොකු වෙනසක් වෙයි. දරුවන්ට නැවතත් පොත් කියවන, මිතුරන් ආශ්‍රය කරන, ස්වභාවධර්මය විඳින "ඇත්ත ජීවිතයක්" ලැබෙයි. ඕස්ට්‍රේලියාව මේක සාර්ථක කරගත්තොත්, එංගලන්තය, යුරෝපය සහ සමහරවිට අනාගතයේ ලංකාවටත් මේ නීතිය එන්න පුළුවන්. මේක තාක්ෂණයට එරෙහි වීමක් නෙවෙයි, මේක මනුෂ්‍යත්වය සහ දරුවන්ගේ මනස රැකගැනීම වෙනුවෙන් ගත්තු විප්ලවීය තීරණයක්. අපි තාම අපේ ළමයින්ට "ස්මාර්ට් වෙන්න" කියලා ෆෝන් එක අතට දෙන එක හරිද කියලා දැන්වත් හිතන්න කාලය ඇවිත්.
👇 ඔබ මොකද හිතන්නේ? අපේ රටෙත් අවුරුදු 16ට අඩු අයට මේ වගේ තහනමක් ගේන්න ඕනද? නැත්නම් දෙමාපියන්ගේ පාලනය විතරක් ඇතිද?
නොකී කතා – Untold Stories | තවත් දැනගැනීමට follow කරන්න
ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම 'නොකී කතා' Page එක Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි







