"මම කරපු දේ මගේ බිරිඳවත් දැනගෙන හිටියේ නෑ..." අවුරුදු 50ක් රහසක් රැකපු ලෝකයේ නිහඬම වීරයා! 🤫❤️🇬🇧"
අපි හිතාගෙන ඉන්නේ "වීරයෝ" කියන්නේ ෆිල්ම් වල ඉන්න සුපර්මෑන්ලා, බැට්මෑන්ලා කියලා. එහෙමත් නැත්නම් යුද්ධ දිනපු සෙන්පතියෝ කියලා. ඒත් නිකලස් වින්ටන් (Nicholas Winton) කියන්නේ ඒ ඔක්කොටම වඩා වෙනස් මනුස්සයෙක්. ඔහු එංගලන්තයේ කොටස් වෙළඳපොළේ වැඩ කරපු හරිම සාමාන්‍ය මනුස්සයෙක්. ඔහුට ලස්සන බිරිඳක් හිටියා. දරුවෝ හිටියා. ඔහු අවුරුදු 50ක් තිස්සේ සාමාන්‍ය විදියට ජීවත් වුණා.
හැබැයි 1988 දවසක, ඔහුගේ බිරිඳ (Grete) ගෙදර අල්මාරියක් අස් කරද්දි දකිනවා පරණ වෙච්ච ලොකු පොතක් (Scrapbook). ඇය ඒක පෙරලලා බලද්දි ඇස් අදහාගන්න බැරි වුණා.
ඒකේ තිබුණේ ළමයින්ගේ නම්, ෆොටෝ සහ ව්‍යාජ ලියකියවිලි ගොඩක්. ඇය දුවගෙන ගිහින් සැමියාගෙන් ඇහුවා "නිකලස්... මොකක්ද මේ පොත? කවුද මේ ළමයි?" කියලා.
නිකලස් හිනාවෙලා කිව්වා, "ඕක පරණ කතාවක්... විසි කරලා දාන්න" කියලා.
ඒත් බිරිඳ ඒක විසි කළේ නෑ. ඇය ඒක මාධ්‍යවේදියෙක්ට දුන්නා. එදා තමයි ලෝකය දැනගත්තේ මේ අහිංසක මනුස්සයා කරලා තියෙන මහා වීර ක්‍රියාව.
කතාව යන්නේ 1939 අවුරුද්දට. දෙවැනි ලෝක යුද්ධය පටන් ගන්න ඔන්න මෙන්න. හිට්ලර්ගේ නාසි හමුදාව චෙකොස්ලොවැකියාව ආක්‍රමණය කරමින් හිටියේ. එහේ හිටපු යුදෙව් දරුවෝ දහස් ගණනක් මරණය අතේ තියාගෙන හිටියේ.
ඇත්තටම 1938 නත්තල් නිවාඩුවට තරුණ නිකලස් වින්ටන් ප්ලෑන් කරලා හිටියේ ස්විට්සර්ලන්තයට ගිහින් හිම ක්‍රීඩා (Skiing) කරන්න. ඒත් ප්‍රාග් නුවර හිටපු එයාගේ යාළුවෙක්ගෙන් ආපු එක හදිසි දුරකථන ඇමතුමක් නිසා ඔහු තමන්ගේ විනෝද චාරිකාව පැත්තක දාලා එහේ ගියා. එතනදි ඔහු දැක්ක දේ නිසා ඔහුගේ පපුව කීරි ගැහුණා. පුංචි දරුවෝ දහස් ගණනක් කන්න නැතුව, සීතලේ ගැහි ගැහි, හෙට මැරෙයිද අද මැරෙයිද කියන බයෙන් සරණාගත කඳවුරු වල ගුලි වෙලා හිටියා. හිට්ලර්ගේ හමුදාව එන්න ඔන්න මෙන්න.
මේ අසරණකම දැකපු නිකලස් තමන්ගේ හෝටල් කාමරය තාවකාලික කාර්යාලයක් කරගත්තා. මේ ආරංචිය පැතිරෙද්දිම, දහස් ගණන් යුදෙව් අම්මලා තාත්තලා හෝටලය ඉස්සරහ පෝලිම් ගැහුණා. ඔවුන් ඇවිත් නිකලස්ගේ කකුල් දෙක අල්ලලා වැඳලා ඉල්ලුවේ එකම දෙයයි. 'අපි මැරුණට කමක් නෑ මහත්තයෝ... අනේ අපේ පැටියාව මේ නාසීන්ගෙන් බේරලා වෙන රටකට අරන් යන්න' කියලා. තමන්ගේ පණ වගේ ඉන්න දරුවව, නාඳුනන රටකට යවන්න අම්මා කෙනෙක්ට කොච්චර හයියක් තියෙන්න ඕනද?
නිකලස් දවල් රෑ නැතුව වැඩ කළා. නීතියෙන් කරන්න බැරි තැන්වලදී ඔහු හොර රහසේ ව්‍යාජ ලිපි ලේඛන හැදුවා (Forged documents). නාසි නිලධාරීන්ට අත යටින් පගාව දුන්නා. එංගලන්ත රජය 'වීසා දෙන්න බෑ' කියද්දි ඔහු ඔවුන් එක්ක රණ්ඩු වුණා.
අන්තිමට ඔහු කොහොම හරි කෝච්චි 8ක් ලෑස්ති කරගත්තා. කෝච්චිය පිටත් වෙන වෙලාව තමයි සංවේදීම... අම්මලා තාත්තලා තමන්ගේ පණ වගේ දරුවව කෝච්චියේ ජනේලයෙන් ඇතුලට දාලා, අන්තිම වතාවට අත වැනුවා. දරුවෝ 'අම්මේ යන්න එපා' කියලා කෑගහද්දි, අම්මලා කඳුළු හංගගෙන හිනාවෙලා අත වැනුවා. මොකද ඒ දෙමාපියන් දැනගෙන හිටියා තමන් ආයේ කවදාවත් තමන්ගේ දරුවව දකින්නේ නෑ, තමන් මැරෙන්නයි යන්නේ කියලා.
ඔහු තනියම දරුවන් 669 දෙනෙක්ගේ ජීවිත එසේ බේරගත්තා. නමුත් මේ කතාවේ දුකම තැන එන්නේ අන්තිමට. නිකලස් ලෑස්ති කරපු 9 වෙනි කෝච්චිය... ඒක තමයි ලොකුම කෝච්චිය. දරුවෝ 250ක් ඒකට නැග්ගා. ඒත් 1939 සැප්තැම්බර් 1 වෙනිදා, ඒ කෝච්චිය යන්න ලෑස්ති වෙද්දිම හිට්ලර් පෝලන්තය ආක්‍රමණය කළා.
දේශසීමා වැහුවා. කෝච්චිය නතර කළා. ඒ අහිංසක මල් කැකුළු 250ම නාසීන් විසින් ආපහු ඇදගෙන ගියා. ඒ දරුවෝ 250 දෙනාගෙන් එක්කෙනෙක්වත් ආයේ හම්බුණේ නෑ.නිකලස් වින්ටන් මැරෙනකම්ම ඒ ගැන පසුතැවුණා. 'මට තව විනාඩි 20ක් තිබුණා නම්, ඒ කෝච්චියත් යවාගන්න තිබුණා' කියලා ඔහු නිතරම කිව්වා
නිකලස් තමන් තරුණ කාලේ කරපු වැඩේ කාටවත් කිව්වේ නෑ. එයාට ඕන වුණේ නෑ ප්‍රසිද්ධ වෙන්න. "මම කළේ මනුස්සයෙක් කරන්න ඕන දේ විතරයි" කියලා එයා නිහඬ වුණා.
මේ රහස එළිවුණාට පස්සේ 1988 දී BBC නාලිකාවේ "That's Life!" කියන වැඩසටහනට නිකලස්ව ආරාධනා කළා. ඔහු හිතුවේ මේක නිකන් සාමාන්‍ය වැඩසටහනක් කියලා. ඔහු ප්‍රේක්ෂකාගාරයේ වාඩි වෙලා හිටියා.
වැඩසටහන පටන් ගත්තම නිවේදිකාව අර පරණ පොත අතට අරන්, නිකලස් බේරගත්ත ළමයින්ගේ නම් කියවන්න ගත්තා. ඊට පස්සේ ඇය ඇහුවා:"නිකලස් මහත්මයා බේරගත්ත දරුවෙක් අද මේ ශාලාවේ ඉන්නවා නම් කරුණාකර නැගිටින්න පුළුවන්ද?"
ඒ මොහොතේ... නිකලස් වටේට වාඩි වෙලා හිටපු, දැන් මැදිවියේ පසුවන ගැහැණු සහ පිරිමි 20කට වැඩි පිරිසක් එකපාරටම අසුන් වලින් නැගිට්ටා!
නිකලස් පුදුම වුණා. ඔහු වටපිට බැලුවා. එදා ඔහු කෝච්චියට දාලා ජීවිතේ දීපු ඒ පුංචි දරුවෝ, අද ලොකු වෙලා තමන් වටේ ඉන්නවා දැකලා මේ මහා වීරයාට අඬන්න පටන් ගත්තා. ඒ "දරුවෝ" ඔහුව බදාගෙන ඇඬුවා.
මුළු ලෝකෙම ඒ දර්ශනය බලලා ඇඬුවා. ඔහු බේරගත්ත දරුවන්ගෙන් පැවත එන අය අද වෙද්දි 6000කට වැඩි බව සොයාගෙන තියෙනවා.
ඔහු නිකලස් වින්ටන් නෙවෙයි, ඔහු "සර් නිකලස් වින්ටන්".
නියම වීරයෝ තමන් කරපු දේවල් මාකට් කරන්නේ නෑ. ඔවුන් නිහඬයි.
නොකී කතා – Untold Stories | තවත් දැනගැනීමට follow කරන්න
ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම 'නොකී කතා' Page එක Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි.







