අම්මා කාමරේ එල්ලපු බම්බල් බී... සහ ලෝකයක් දිනපු 'පුංචි' යෝධයා
"පුතේ, අර පෝස්ටරේ දිහා බලන්න..."
එක අම්මා කෙනෙක් තමන්ගේ පුතාගේ ඇඳට උඩින් බම්බල් බී (Bumblebee) කෙනෙක්ගේ පින්තූරයක් එල්ලනවා. ඒක යටින් ලොකු අකුරින් මෙහෙම ලියලා තිබුණා.
"විද්‍යාත්මක නියමයන්ට (Aerodynamic laws) අනුව බම්බල් බීට පියාඹන්න බෑ. මොකද උගේ ඇඟේ බරට සාපේක්ෂව තටු දෙක පොඩි වැඩි. ඒත් බම්බල් බී මේ නීති මොකුත් දන්නේ නෑ... ඌ නිකම්ම පියාඹනවා!"
මේ ලෝකේ ඒ පෝස්ටරේ කතාව ඇත්තක් කරපු එකම එක මනුස්සයෙක් හිටියා.
එයාගේ නම පීටර් ඩින්ක්ලේජ් (Peter Dinklage).
ඉපදෙද්දීම දෛවය එයාට සරදම් කළා. 'Achondroplasia' කියන ජානමය තත්ත්වය නිසා එයාගේ අත් පා හරියට වැඩුනේ නෑ. අඩි 4 යි අඟල් 5 ක් විතරයි උස. ඉස්කෝලේ යද්දි ළමයි එයාට "වාමනයා" කියලා විහිළු කළා.
ලොකු වෙලා එයාට ඕන වුණා නළුවෙක් වෙන්න. එතකොට හොලිවුඩ් එකේ අය හිනා වුණා. "උඹට පිස්සුද? වීරයෝ වෙන්න උඹට උස නෑ. ඕන නම් ජෝකර් කෙනෙක් වෙයන්. නැත්නම් එල්ෆ් (Elf) කෙනෙක් වෙයන්."
හැබැයි අර බම්බල් බී වගේම, පීටර් මේ නීති පිළිගන්න ලෑස්ති වුණේ නෑ.
"මම මගේ උස විකුණන් කන ජෝකර් කෙනෙක් වෙන්නේ නෑ. මම නළුවෙක්!"
එයා එල්ෆ් චරිත ඔක්කොම ප්‍රතික්ෂේප කළා. ඒ හින්දා එයාට රස්සාව නැති වුණා. කන්න බොන්න සල්ලි නැතුව, නිව්යෝර්ක් නගරයේ සීතල කාමරේක එයා අවුරුදු ගාණක් බඩගින්නේ හිටියා. රෑට කෑවේ පොප්කෝන් පැකට් එකක් විතරයි. යාළුවෝ කිව්වා "නිකන් මෝඩ නොවී හම්බවෙන පොඩි චරිතයක් කරපන්" කියලා.
ඒත් පීටර් තමන්ගේ පියාපත් කපාගත්තේ නෑ.
අන්තිමේදී ලෝකයම හොල්ලපු Game of Thrones කතා මාලාවේ 'ටිරියන් ලැනිස්ටර්' චරිතය එයාට ලැබුණා. එදා අඩි 6-7 උස යෝධ නළුවෝ පවා එයාගේ රඟපෑම ඉස්සරහා පුංචි වෙලා පෙනුණා.
අද පීටර් ඩින්ක්ලේජ් කියන්නේ ලෝකේ වැඩිම ගාණක් අය කරන, දක්ෂතම නළුවෙක්.
බම්බල් බීට පියාඹන්න බැරි බව බම්බල් බී දන්නේ නෑ වගේම, පීටර්ට නළුවෙක් වෙන්න බැරි බව පීටර් විශ්වාස කළේ නෑ.
සමහරවිට ඔයාටත් සමාජය කියනවා ඇති "උඹට ඕක කරන්න බෑ... උඹේ පෙනුම මදි, සල්ලි මදි, සුදුසුකම් මදි" කියලා. පොඩ්ඩක් හිතන්න... ඒ කියන්නේ සමාජයේ නීතිය. ඔයාගේ නීතිය ලියාගන්න ඕනේ ඔයාමයි!






