මදුරෝ කියන්නේ පළවෙනියා නෙවෙයි...තුන් වෙනියා 🥶... හරියටම අවුරුදු 36කට පස්සේ ඉතිහාසය ඒ විදියටම ලියවුණ හැටි දෛවයේ සරදමක්ද?
රටක ජනාධිපතිවරයෙක්... තමන්ගේම රටේ, තමන්ගේම ආරක්ෂකයන් මැද, තමන්ගේම නිල නිවසේ සුවපහසු නින්දක ඉන්නවා කියලා නිකමට හිතන්න. පිටතින් මුළු රටම නිහඬයි. තරු පිරුණු අහස යට මුළු නගරයම නිදාගෙන ඉද්දී, එකපාරටම ඒ නිහඬ බව දෙබෑ කරගෙන අහසින් පාත් වෙන්නේ මරණය වගේ සෙවනැලි කිහිපයක්.
කිසිම දේශසීමා නීතියක්, ජාත්‍යන්තර සම්මුතියක් එතන අදාළ නෑ. තත්පර ගානක් ඇතුළත තමන්ගේම රටේ නායකයාගේ ඔලුවට පිටරටක හමුදාවක තුවක්කු කටක් එල්ල වෙනවා.
පහුගියදා, ඒ කියන්නේ 2026 ජනවාරි 3 වෙනිදා, වෙනිසියුලාවේ නිකලස් මදුරෝව ඇඳෙන් ඇදලා අරන් ඇමරිකාවට කුදලගෙන ගිය සිද්ධිය දකිද්දී, ලෝකෙම අය හිතුවේ මේක අලුත්ම දෙයක් කියලා. "කොහොමද යකෝ ඇමරිකාව එහෙම කරන්නේ?" කියලා හැමෝම ප්‍රශ්න කළා.
ඒත් ඇත්තම කතාව ඊට වඩා ගොඩක් භයානකයි. මදුරෝ කියන්නේ මේ ක්‍රීඩාවේ අලුත්ම බිල්ල විතරයි. පුදුම හිතෙන දෛවපෝපගත සිදුවීමක් කියන්නද? හරියටම මීට අවුරුදු 36කට කලින්, මධ්‍යම ඇමරිකාවේ පුංචි රටක් මේ භීෂණයම අත්විින්දා. ඒ තමයි පැනමාව.
වර්ෂය 1989. පැනමාවේ හිටියේ මැනුවෙල් නොරියේගා. හැබැයි මේ නොරියේගා කියන්නේ නිකම්ම නිකම් ඒකාධිපතියෙක් නෙවෙයි. එක කාලයක් එයා ඇමරිකාවේ CIA එකේ හොඳම මිතුරෙක් වෙලා හිටියා. ඇමරිකාව කියන විදියට නටපු, ඇමරිකාවෙන් පඩි ගත්තු ඔත්තුකාරයෙක්.
ඒත් බලය කියන දේ ඔලුවට ගැහුවම මිනිස්සු වෙනස් වෙනවා. නොරියේගා ටිකෙන් ටික ඇමරිකාවේ අණට කීකරු නොවී, තමන්ගේම ගේමක් ගහන්න පටන් ගත්තා. එතනදී තමයි වොෂින්ටනයේ ලොක්කන්ගේ ඇස් රතු වුණේ. එදා ඇමරිකාවේ ජනාධිපති පුටුවේ හිටපු ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් තීරණය කළා නොරියේගාට පාඩමක් උගන්නන්න. ඒකට යොදාගත්ත නම තමයි "Operation Just Cause".
1989 දෙසැම්බර් 20 වෙනිදා රෑ පැනමා සිටි නගරය එකම ගිනි ගොඩක් බවට පත් වුණා. අහසින්, මුහුදෙන් සහ ගොඩබිමෙන් ඇමරිකානු හමුදා 27,000ක් ඒ පුංචි රටට කඩා වැදුණා. හැබැයි මේ ආක්‍රමණය නිකම්ම එකක් නෙවෙයි. නොරියේගා පැනලා යන එක වළක්වන්න ඇමරිකාව තමන්ගේ දරුණුතම ආයුධය පාවිච්චි කළා.
ඒ තමයි Navy SEALs විශේෂ බලකාය.
ඝන අන්ධකාරයේම ක්‍රියාත්මක වුණු සීල් භටයෝ, නොරියේගාට පැනලා යන්න තිබුණු පෞද්ගලික ජෙට් එකයි (Learjet), වරායේ තිබුණු එයාගේ වේගවත් බෝට්ටුවයි පුපුරවලා විනාශ කළා. හැබැයි ඒක ලේසි වුණේ නෑ. ඒ ඝන අඳුරේ සිදුවුණු දරුණු වෙඩි හුවමාරුවෙන් සීල් භටයෝ 4 දෙනෙක් මැරුණා. වියට්නාම් යුද්ධෙන් පස්සේ සීල් ටීම් එකට වුණු ලොකුම හානිය ඒකයි.
තවත් විශේෂත්වයක් තිබුණා. ලෝක යුද්ධ ඉතිහාසය වෙනස් කරමින්, පළවෙනි වතාවට ඇමරිකානු කාන්තා සෙබළියන් 800ක් විතර රයිෆල් අතින් අරන් ඍජුවම යුද්ධ පෙරමුණට (Combat roles) එක්වුණේ මේ පැනමා ආක්‍රමණයේදී.
පැනමාව පැත්තෙන් නොරියේගා වෙනුවෙන් සටන් කළේ "Dignity Battalions" (ගෞරව බළකාය) කියන සිවිල් සහ මැර කණ්ඩායම්. ඒත් ඇමරිකාවේ අති නවීන අවි බලය ඉස්සරහා එයාලා පිදුරු ගස් වගේ ඇදගෙන වැටුණා.
දුකම කතාව ඒක නෙවෙයි. 'එල් චොරිලෝ' (El Chorrillo) කියන දුප්පත් මුඩුක්කු ප්‍රදේශයට එල්ල වුණ ඇමරිකානු බෝම්බ ප්‍රහාරවලින් අහිංසක සිවිල් වැසියෝ 500කට වඩා මැරුණා කියලා තමයි ස්වාධීන වාර්තා කියන්නේ. ඒ මුළු ප්‍රදේශයම ලේ විලක් වුණා. ඒ මිනිස්සුන්ගේ මරණවලට අදටත් සාධාරණයක් නෑ.
මේ මරණ බිය දරාගන්න බැරුව නොරියේගා පැනලා ගිහින් වතිකානු තානාපති කාර්යාලයේ හැංගුණා. එතනදී තමයි ලෝක ඉතිහාසයේ සිද්ධ වෙච්ච පුදුම හිතෙනම "මානසික යුද්ධය" පටන් ගත්තේ. ඇමරිකානු හමුදාව තානාපති කාර්යාලය වට කළා. හැබැයි වෙඩි තිබ්බේ නෑ.
වෙඩි තියනවා වෙනුවට එයාලා ගෙනාවා යෝධ ස්පීකර් සිස්ටම් එකක්.
Guns N' Roses, The Clash වගේ රොක් බැන්ඩ් වල සින්දු කන පැලෙන සද්දෙන් පැය 24 පුරාම දැම්මා. මුළු පළාතම දෙදරන්න දවස් දහයක් තිස්සේ මේ වධය විඳලා නොරියේගාට පිස්සු හැදෙන තත්ත්වයට ආවා. එයාට තේරුණා ඇමරිකාව එක්ක හැප්පිලා දිනන්න බැහැ කියලා.
1990 ජනවාරි 3 වෙනිදා... ඔව්, හරියටම අද මදුරෝව අල්ලගන්න අවුරුදු 36කට කලින් දවසේ, නොරියේගා එළියට ආවා. එදා ලෝකෙම බලාගෙන හිටියා තමන්ගේ රටේ වීරයා වෙන්න ගිය කෙනා, තමන්ගේම රටේ ඉඳන්, විලංගු දාගෙන ඇමරිකානු හෙලිකොප්ටරයකට නගින හැටි.
එයාව මියාමි වලට ගෙනල්ලා 'අංක 41568' දරන හිරකාරයා විදිහට හිරේ දැම්මා. එයාගේ ඉරණම එතනින් ඉවර වුණේ නෑ. ඇමරිකාවේ හිර දඬුවම ඉවර වුණාම ප්‍රංශයට පිටුවහල් කළා. ඊට පස්සේ ආයේ පැනමාවට ගෙනාවා. අන්තිමට 2017 දී, වයස අවුරුදු 83ක් වෙලා තියෙද්දී මොළේ සැත්කමකින් පස්සේ, කාටවත් වැඩක් නැති මනුස්සයෙක් විදිහට එයා මිය ගියා.
2022 දී හොන්ඩියුරාස් හිටපු ජනාධිපති ජුවාන් ඔර්ලැන්ඩෝව ද මෙලෙසම ඇමරිකාවට පිටුවහල් කෙරුණු අතර (ඔහුව 2025 දී ජනාධිපති ට්‍රම්ප් විසින් නිදහස් කෙරුණා), දැන් 2026 දී ඒ කතාවට අලුත්ම පරිච්ඡේදය ලෙස නිකලස් මදුරෝ එක්ව තිබෙනවා.
ලෝක දේශපාලනයේ බලය සහ නීතිය ක්‍රියාත්මක වන ආකාරය ගැන මේ සිදුවීම් පෙළ කදිම උදාහරණයක්.
මේ ගැන ඔබේ අදහස මොකක්ද? මේක හුදෙක් අහම්බයක්ද? නැත්නම් ඉතිහාසය රවුමක් ලෙස කැරකෙනවාද? පහළින් කමෙන්ට් කරන්න.
පහළින් කමෙන්ට් කරන්න.
මේ වගේ දේවල් අනිත් අයටත් දැනගන්න Share කරන්න අමතක කරන්න එපා
ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම ‘නොකී කතා – Untold Stories’ පිටුව Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි







